පරණ (1985-90ට වගේ කලින්) වාහනවල cooling system එක හරිම සරල සහ ගොඩක් reliable විදියට ඩිසයින් කරපු දෙයක්. ඒවා run වෙනකොට යන උපරිම pressure එකත් psi 5-8 වගේ අගයක් ගන්නේ.ඒ වගේම විශේෂයෙන්ම ඒවගේ භාවිතා වෙන radiator එක තනිකරම ලෝහ වලින් තමා හදල තියෙන්නේ. තඹ / පිත්තල වගේ ලෝහයකින් . ඒ නිසා ඒවා කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන් . ගොඩක් වාහන තාමත් original radiator එකෙන් දුවනවා කිසි ප්‍රශ්නයක් නැතුව.... අනික ඒවගේ පොඩි leak එකක් ආවොත් පාස්සල හදාගන්න පුළුවන්.
නමුත් ගොඩක් කාලෙක ඉදන් වාහන වල එන්නේ plastic ටැංකි දෙකක් උඩින් උයි යටින් උයි ගහපු , ඇලුමිනියම් core එකක් ගහපු radiators .අනික pressure එකත් psi 10න් උඩ මොකද pressure එක වැඩි කරලා රේඩියේටර් එකේ core එකේ size එක අඩු කරන්න පුළුවන්. ඉතින් උදේ හවා heat cycle ගණනාවක් එක්ක මේ plastic ටැංකි වල crack එන්න පුළුවන් ඒ නිසා හෙමිට leak වෙන්නත් , පොඩි crack එක එකපාරට ලොකු වෙලා coolant ඔක්කොම එකවර අයින් වෙලා ලොකු case එකක් වෙන්නත් ඉඩ තියනවා.
මේ වාහනයේ රේඩියෙටරයේ උඩ ප්ලාස්ටික් ටැංකිය සහ ඇලුමිනියම් ටැංකිය crimp වෙලා තියන තැනින් පොඩි ලීක් එකක් ආවා. මාසයක් වගේ යද්දී ඒක ටිකක් ලොකු උනා .මේකට කලින් උඩ ටැංකිය විතරක් සෙට් කරලා තියනවා , ඒවගේම රේඩියේටර් core එක ඇද වෙලා සහ ඇතුලේ මලකඩ වගේත් තිබුණා .ඒනිසා මේකට තව උඩ ටැංකියක් දානවා වෙනුවට සම්පුර්ණ radiator එකක්ම දාන්න හිතුවා. කඩවල් කීපයකින් අහල සාදාරන ගානකට අලුත්ම එකක් ගත්තා.
පහල තියෙන්නේ ඒ ලීක් වෙන තැනට epoxy දාල කරපු තාවකාලික පිලියමක් . මේ විදියට කවදාවත් ලොකු ලීක් වහන්න එපා .නමුත් පොඩි ලීක් එකක් නම් තාවකාලිකව පොඩි දුරක් යන්න පුළුවන් .නමුත් traffic එකේ වගේ මේ විදියට යන්න එපා.
මේ තියෙන්නේ අලුත් රේඩියේටර් එක. මේකෙන් එන්ජිමේ coolant සිසිල් කරනවා වගේම automatic gearbox එකේ ගියර් ඔයිල් උත් සිසිල් කරනවා . ඔය පහල තියන තඹ බට දෙක සෙට් වෙන්නේ gearbox එකෙන් එන බට දෙකකට . මේක සරලව පහල ටැංකිය දිගේ යන තඹ බටයක් .Coolant සහ gear oil වෙන වෙනම තමා තියෙන්නේ , කිසිම වෙලාවක මිශ්‍ර වීමක් වෙන්නේ නෑ ,
දැන් ඉතිං තියෙන්නේ පරණ එක ගලවලා අලුත් දාන එක 😁 ගලවලා හයි කරන එක වාහනෙන් වාහනේට වෙනස් උනත් ඔක්කොටම එක general procedure එකක් තියෙන්නේ .
මම කරේ මෙහෙම,
ඉස්සෙල්ලම බැටරියේ (-) වයර් එක ගලවන්න.ඒක කෝකටත් හොදයි ඊටපස්සේ radiator මුඩිය ගලවලා , ඒක යට හෝස් එක ගලවලා හෝ පහල තියන valve එක බුරුල් කරලා coolant ටික අයින් කරගන්න ඕනේ. කෙලින්ම පහල හෝස් එක ගැලෙව්වම ලේසියෙන් වතුර ඔක්කොම අයින් කරගන්න පුළුවන්.ඊටපස්සේ fan ඇසෙම්බ්ලි එක ගලවගන්න ඕන . ඒකට එන වයර් connector heat එක නිසා plastic එක පොඩ්ඩ ඇත්තම් කැඩෙන්න ඉඩ තියනවා , ඒ නිසා ඒවා පරෙස්සමෙන් අයින් කර ගන්න ඕනේ . fan එක එලියට ගන්න උඩ හෝස් එකත් ගලවන්න ඕනේ.එත් එක්කම උඩ මුඩිය ලග පොඩි බටෙත් ගලවන්න.
ඔය ටික කරාම මේ පහල ෆොටෝ වල තියනවා වගේ හොදට ඉඩකඩ ලැබෙනවා ඉතුරු වැඩ ටික කරන්න . ෆෑන් ඇසෙම්බ්ලි එක එලියට ගන්න මේ විදියට fuse box එක පරෙස්සමෙන් අයින් කරගන්න ඕනේ. දෙපැත්තේ තියන bracket දෙකෙන් තමා මේක වාහනේට සෙට් වෙලා තියෙන්නේ . 10mm bolt දෙකක් තියනවා ඒ එකක. ඒ bracket දෙක ගලවලා අයින් කරගන්න ඕනේ .
අර පහල තියන සිදුරු දෙකට තමා radiator එකේ පහල ටැංකියේ තියන කුරු දෙක වගේ (standoff ) කොටස් යන්නේ .එතන රබර් බුෂ් දෙකක් එනවා.ඒක ගොඩක් වෙලාවට පරණ radiator එකේ ඇලවිල තියෙන්න පුළුවන් .මතක් කරලා ඒ දෙක ගලවලා අලුත් එකට transfer කරගන්න ඕනේ .
දැන් coolant හෝස් දෙක ගැලෙව්වට gearbox cooler lines දෙක තවම සවි වෙලයි තියෙන්නේ.
ඒ දෙක ගලවද්දී අනිවාර්යෙන් gear oil මිලිලීටර් 300ක් විතර පරණ radiator එකේ ඉතුරු වෙනවා.බට ගලවද්දී ටිකක් හැලෙන්නත් පුළුවන් . ඒ ටික අහුලලා අය ගියර් බොක්ස් එකට දාන්න යන්න එපා . පොඩ්ඩක් අඩු උනා කියල ලොකු ප්‍රශ්නයක් නෑ .
පස්සේ gear oil check කරලා කුරේ low level එකටත් පහලින් නම් තියෙන්නේ වාහනේ service manual එකේ කියල තියන transmission oil type එකෙන් ලිටරේ බෝතලයක් අරන් අඩුව දාන්න. මේ Nissan FB15 වලට දන්නේ DEXRON III කියන ගියර් ඔයිල් වර්ගය.
කිසිම වෙලාවක වැඩියෙන් oil දාන්න එපා. Automatic gear oil drain and fill කරන හැටි , level චෙක් කරන හැටි සම්පුර්ණයෙන්ම වගේ වෙන ලිපියක ලියන්නම්.
පහල පින්තුරේ තියෙන්නේ ගියර් oil line දෙක උඩට කරලා බැදලා තියන විදිය. මේවා පහලට එල්ලෙන විදියට තිබ්බොත් oil ටික ටික එලියට එනවා. ඒනිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ, Gear Oil ලීටරයකට වගේ වඩා එලියට ගියොත් වාහනේ පදින්න කලින් අනිවාර්යෙන් ඒ අඩුව පුරවලා ඉන්න ඕනේ .
බටවලින් සහ රේඩියේටර් එක ඇතුලේ තිබුණු gear oil තමා මේ. ඒ ටික අල්ලගන්න බේසමක් වගේ දෙයක් දාන්න. නැත්තං මේ වගේ හැමතැනම යනවා.
ඊට පස්සේ පරණ රේඩියේටර් එක උස්සල අයින් කරගන්න පුළුවන්. මේ රතු පාට තියෙන්නේ gear oil.
අලුත් එක සහ පරණ එක
දැන් අලුත් එක දාන්න තමා තියෙන්නේ, අර කලින් කියපු පහල තියන රබර් බුෂ් දෙක වාහනේ සිදුරු දෙකට align කරලා හොදට වැටිලද කියල බලල උඩ bracket දෙකෙන් එකක් ලාවට අතෙන් bolt තද කරලා දාගන්න ඕනේ බට හයි කරනකන්, බට සෙට් කරද්දී fan ඇසෙම්බ්ලි එක දාද්දි එහාට මෙහාට කරන්න පුළුවන් වෙන්න ඕනේ.
fan දෙක දාන්න කලින් gear oil cooler lines දෙක connect කරගන්න ඕනේ . මේකේ තිබුන clamps වෙනුවට මම සාමාන්‍ය hose clamp පාවිච්චි කරා, ඒවා ගලවන්න සහ හයි කරන්න ලේසි නිසා.
මේ තියෙන්නේ තිබුණු clamps.
අලුත් clamps දාල හොදට gearbox hose දෙක සෙට් කරගන්න ඕන.
ඊට පස්සේ අලුත් රේඩියේටර් එකයි එන්ජිමේ cooling circuit එකයි සුද්ද කරගන්න ඕනේ.ඒක කරන්න සාමාන්‍ය පාරේ වතුර පාව්ච්චි කරන්න පුළුවන්. රේඩියේටර් එකේ හෝස් දෙක ගහන්න කලින් මූඩිය ඇරලා සාමාන්‍ය garden බටයක් හොදට පිරිසිදු රෙදි කෑල්ලකින් වතුර filter වෙන විදියට ඔතල රේඩියේටර් එකේ කටට ගහන්න.ඊටපස්සේ පහල hose එක connect වෙන තැන අතින් කවර් කරාම මුළු රේඩියේටර් එකම වතුරෙන් පිරෙනවා,ඊට පස්සේ අත ඇරියම ඇතුලේ තියන දුවිලි , වෙනත් ජරාව ඔක්කොම අයින් වෙනවා. එහෙම කීප වතාවක් කරන්න.
රේඩියේටර් එක clean කරගත්තට පස්සේ engine block එකේ cooling jacket සහ වතුර යන බට වල තියන ජරාව අයින් කරගන්න ඕනේ. එක කරන්නත් කලින් වගේම hose එක වටේට රෙදි කැල්ලක් ඔතල එන්ජිමේ උඩම coolant බටේට ගහන්න, මෙහෙම කරද්දී thermostat valve එක ගලවලා කරන්න ඕනේ, නැත්තන් වතුර යන වේගේ අඩුවෙනවා valve එක සීතලට වැහිලා නිසා.
VIDEO
Thermostat වැල්ව් එක ගලවන නිසා ඒක හොදද , stuck වෙලාද කියල බලාගන්නත් පුළුවන්.
මේක ටෙස්ට් කරන්න පුළුවන් අපිට ගෙදරදීම. මේ valve එකේ ගහල තියනවා සෙල්සියස් අංශක ගානක් හෝ ෆෙරන්හයිට් ගානක් . මේකේ තියෙන්නේ සෙල්සියස් 82. වතුර එකක් උණු කරලා කොප්පෙකට දාල උෂ්නත්වමානෙකින් කෝප්පේ වතුරේ temperature එක මැනගන්න.අර ගහල තියන ගාන ලංවෙනකොටම valve එක කෝප්පෙට දාන්න.තප්පර 10 කින් වගේ ඒක open වෙනවා බලාගන්න පුළුවන්. සාමාන්යෙන් ලොකු ගැප් එකක් එනකන් open වෙන්න ඕනේ. එහෙම වෙන් නැත්තන් මේක දැන්ම මාරු කරන්න.
මේකේ මේ උඩම තියන බොලේ වගේ එක හයි කරද්දී උඩට එන්න ඕනේ. මේ යකඩ ring එකේ සිදුරක් විදලා එක අස්සෙන් ගොඩක් වතුර යනවට පොඩි කරාබුවක් වගේ එකක් දාල තියෙන්නේ.මේක තියෙන්නේ අපිට system එකේ තියන හුලන් ලේසියෙන් එලියට ගන්න.
මේ thermostat housing එකේ තියන මඩ වගේ ටික toothbrush එකක් පාවිච්චි කරලා යවාගන්න පුළුවන්.
ඊට පස්සේ thermostat එක ඒ housing එකට දාල එක එන්ජිමට සෙට් කරගන්නයි තියෙන්නේ, ඒ කරද්දී අර උඩ කිව්වා වගේ අර air escape සිදුර උඩ අතට තියෙන්න සවි වෙන්න ඕනේ මේ පහල තියන විදියට. ඒ රබර් gasket එකත් හරියට කාණුවට සෙට් වෙන්න ඕනේ.
ඊටපස්සේ fan assembly එක සෙට් කරන්න ඕනේ. එකේ වයර් දෙකත් ගහගන්න, ඒක ඇන දෙකකින් රේඩියේටර් එකට සෙට් වෙන්නෙ. මුඩිය ලග තියන overflow tank එකට යන පොඩි බටෙත් සෙට් කරන්න. ඊට පස්සේ රේඩියේටර් hose දෙක connect කරගන්න ඕනේ . ඕනේ නම් පොඩි RTV Silicone layer එකක් ගාන්න බට සෙට් වෙන තැන් වලට. ඇනෙන් තද කරන hose clamp, plastic වලින් හදල තියන thermostat housing එකට දාල තද කරද්දී ඕනෙවට වඩා තද කරන්න අවශ්ය නෑ. පොඩි silicone layer එකක් ගාල අතේ ගානට තද කරාම හොදටම ඇති.
ඒත් එක්කම heater core එකට යන බට දෙක ගලවලා bypass කරලා තිබුනේ පරණ හෝස් එකකින් .එකේ ලොකු නැම්මකුත් තිබුනා. එන්ජිම start කරපු ගමන් thermostat එක වැහිලා තියෙන්නේ , එතකොට water pump එකෙන් තල්ලු කරන වතුර රේඩියේටර් එකට නොයා මේ බටේ හරහා ගිහින් තමා එන්ජිම වටේ coolant circulate වෙන්නේ. එනිසා මේ බටේ හොදට තියෙන්න ඕනේ. එකත් replace කරා.
දැන් ඔක්කොම බට ටික නම් ගහල ඉවරයි . දැන් තියෙන්නේ coolant පුරවලා system එකෙන් හුලන් අයින් කරන එක.
මේක කරන්න කලින් හොයාගන්න ඕනේ එන්ජිමේ air bleed screw එක කොතනද තියෙන්නේ කියල . ඒක වාහනේ Manual එකෙන් හොයාගන්න පුළුවන්. මේකේ තියන හැටියට block එකේ තියන drain bolt එක මම ගැලෙව්වේ නෑ . නමුත් කලින් තිබ්බ coolant හොදටම නරක වෙලා ඇතුලේ ගොඩක් ජරාව නම් ඒ බෝල්ට් එකත් ගලවල අර විදියට හෝස් එකක් ගහල වතුර යවන්න ඕනේ.
ඊටපස්සේ අර air relief plug එක open කරලා රේඩියේටර් එකේ මුඩිය ඇරලා තමන් කැමති brand එක්ක coolant එකක් දාන්න. එක එක කොලිටියෙන් තියනවා coolant. ගණන් අඩු (ලීටර් 4 රුපියල් 1200) වගේ වෙන ඒවා නම් අවුරුදු තුනක් වගේ දුවලා මාරු කරන්න ඕනේ. තව Seiken වගේ original coolant තියනවා ලීටර් එකක් රුපියල් 1500 විතර වෙනවා .මම දැම්මේ ගණන් අඩු එකක්. Performance නම් ලොකු වෙනසක් නෑ මම දන්න විදියට.
පුරවාගෙන එද්දී අර air relief සිදුරෙන් coolant එලියට එද්දී ඒක තද කරලා වහල දාන්න. ඊටපස්සේ රේඩියේටර් එකේ කටට හරියන පුනිලයක් අරන් හොදට තද කරගන්න ඕනේ.ඊට පස්සේ ඒ පුනීලේ බාගයක් විතර උඩට එනකන් coolant වලින් radiator එක පුරවන්න ඕනේ.leak තියනවද කියල බලන්න හෝස් වලින් එහෙම. දැන් එන්ජිම ස්ටාර්ට් කරන්න. ටිකක් වෙලා යද්දී අර පුනීලේ තිබුණු coolant level එක හෙමීට අඩුවෙයි , ඒ අඩුවෙන අඩුවෙන ටික අපහු පුරවන්න. දැන් hose දෙක පොඩ්ඩක් තද කරාම අර පුනිලේ තියන coolant හරහා air bubbles ඇවිල්ල පිට වෙනවා බලාගන්න පුළුවන්. එහෙම ඔක්කොම හුලන් ටික යනකන් කරන්න ඕනේ. එන්ජිම විනාඩි 20ක් විතර ස්ටාර්ට් එකේ තියන්න.Coolant temperature meter එක බලාගෙන ඉන්න , overheat වෙනවද කියල. A/C දාන්න එපා. තවදුරටත් හුලං එලියට එනවා පෙන්නේ නැති උනාම එන්ජිම ඔෆ් කරලා පුනිලේ ගලවල , coolant මදි නම් තව දාල මුඩිය වහල එළියේ තියෙන ටැංකියේ full මාර්ක් එකට එනකනුත් coolant පුරවන්න ඕනේ. ඊට පස්සේ එන්ජිම ටිකක් කූල් වෙනකන් වටේ පොඩ්ඩක් අස් පස් කරන්න 😀
VIDEO
එන්ජිම cool උනාට පස්සේ ආපහු මූඩිය ඇරලා බලන්න,අඩු නම් දාන්න. ඊට පස්සේ ඒක වහල ස්ටාර්ට් කරන්න. දැන් Coolant temperature meter එක මැදට එනකන් ඉන්න. එක මැදට ආවම බලන්න leaks තියනවද කියල,රත් වෙලා නිසා පරෙස්සමින් කරන්න ඕනේ.
ඊට පස්සේ හෝස් දෙක පොඩ්ඩක් තද කරලා බලන්න , ඒවා සාමාන්‍ය ගානට වඩා මිරිකන්න අමාරු ගතියක් තියෙන්න ඕනේ. උඩ හෝස් එක මේ වෙනකොට අල්ලාගෙන ඉන්න බැරි තරමට රත් වෙලා තියෙන්න ඕනේ. පහල හෝස් එක අල්ලාගෙන ටිකක් වෙලා ඉන්න පුළුවන් සහ උඩ හෝස් එකට වඩා පොඩ්ඩක් රස්නේ අඩුවෙන් තියෙන්න ඕනේ. එන්ජිමේ රස්නේ වතුර උඩ බටේ දිගේ ඇවිල්ල රේඩියෙටරෙන් ගිහින් කූල් වෙලා පහල බටෙන් තමා අපහු එන්ජිමට යන්නේ (ගොඩක් වාහනවල)
මේවා මේ විදියට නැත්තං ,පහල බටේ ලේසියෙන් මිරිකන්න සහ අල්ලාගෙන ගොඩක් වෙලා ඉන්න පුළුවන් තරම් රස්නේකින් තියනවා කියන්නේ බට වල හුලං කියන එක.එහෙම උනොත් අපහු කූල් වෙනකම් ඉදල අර පුනිලේ දාල හුලන් අයින් කරන්න ඕනේ.නැත්තං air relief valve එක ඇරලා බලන්න ඕනේ.
ඊට පස්සේ තියෙන්නේ පැය බාගයක් විතර ටෙස්ට් drive එකකට ගිහින් බලන එක. AC ඔෆ් කරන් යන්න. Coolant temperature meter එක බාගෙට වඩා නගින් නැතුව තියෙන්න ඕනේ . බාගෙට වඩා චුට්ටක් වැඩි උනාට ප්‍රශ්නයක් නැ ,මේක වාහනෙන් වාහනේට වෙනස්.
Comments
Post a Comment